BREAKING NEWS : ඇමරිකාව, ප්‍රංශය, බ්‍රිතාන්‍යය සිරියාවට පහරදෙයි! | සිරියානු සිවිල් යුද්ධය පටන් ගත්තේ කොහොමද?


ඇමරිකාව, ප්‍රංශය, බ්‍රිතාන්‍යය සිරියාවේ රසායණික අවි කර්මාණ්තශාලා හා අවිගබඩා ඇතැයි සැළකෙන ස්ථානවලට ඒකාබද්ධ ගුවන් ප්‍රහාර ආරම්භකල බව බටහිර මාධ්‍ය වාර්ත කරනවා. සිරියානු වේලාවෙන් පාන්දර 4ට ඇරඹි මේ ප්‍රහාර සඳහා ගුවන්යානා, කෲස් මිසයිල හා කාළතුවක්කු වෙඩි යොදාගෙන තිබෙනවා. දමස්කස් හා හොම්ස් නගරවල ඇති කර්මාණ්තශාලා හා රසායණික අවි ගබඩා මේ ප්‍රහාරවල ඉලක්ක වූ බවයි පැවසෙන්නේ. ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රහාර ඇරඹීමෙන් පසු මාධ්‍ය අමතා ප්‍රකාශකලේ පසුගිය සෙනසුරාදා අසාඩ් රජය එල්ලකල රසායණික ප්‍රහාරයෙන් දරුවන් ඇතුලු 70ක් මියගිය පසු මේ ප්‍රහාර ඇරඹීමට තීරණය කල බවයි.



සිරියානු සිවිල් යුද්ධය පටන් ගත්තේ කොහොමද?


මුලින්ම සිරියාවේ උපක්‍රමීය වැදගත්කම ගැන දැන ගනිමු. සිරියාව පාලනය වන්නේ සුළුතර ශියා මුස්ලිම් පාලකයින් වන අසාඩ් පවුල මගිනුයි. 1971දී බලයට පැමිණි හෆිස් අල් අසාද් වසර 2000 වනතෙක් බලය අල්ලාගෙන සිටි අතර ඔහුගේ ඇවෑමෙන් ඔහුගේ පුත්‍රයා වන බශීර් අල් අසාද් සිරියාවේ බලයට පත්වුනා. සිරියාවේ මුස්ලිම් වරුන්ගෙන් 74ක් සුන්නි මුස්ලිම් වන අතර එය පාලනය කරන අසාද් පවුල ඇතුලු සිරියානු බාත් පක්ෂය ෂියා මුස්ලිම්වරුන් වනවා.

අසාද්වරුන් බලය අල්ලාගෙන සිටීමට උපකාර වන්නේ 1960ගණන්වල සිට ඔවුන් හා එවක සෝවියට් දේශයත් (නූතන රුසියාව ) අතර තිබූ දැඩි සබඳතාවය මෙන්ම ඉරානයෙන් ලැබෙන සහයද හේතුවනවා.

වසර ගණනාවක සිටම යුධගැටුම් හා ඝාතන වලින් පිරී ගිය සිරියාවේ අද පවතින සිවිල් යුද්ධයේ ආරම්භය 2011 වසරේ අරාබිය පුරා පැතිරීගිය අරාබි වසන්තය නම් විරෝධතා ව්‍යාපාරය තුලින් සිදුවුනා. 2011දී අසාද්ගේ පාලනයට විරුද්ධව කැරලි කෝලාහාල හටගත් අතර මේ සිවිල් ගැටුම් යුධ හමුදාව යොදා වෙඩිතබා මර්දනය කිරීමට බසීල් අල් අසාද් උත්සහ කලා. දිගින් දිගටම නිරායුධ උද්ගෝෂකයින් මරාදමමින් ලෙයින් හා යකඩින් අරාබි වසන්තය සිරියාවේ පැතිරීම වැලැක්වීමට සිදුකල උත්සහයේ අවසන් ප්‍රතිපලය වුනේ 2012 ජනවාරිය වනවිට Free Syrian Army (FSA) හෙවත් නිදහස් සිරියානු හමුදාව නමින් සංවිධාන ගණනාවක් එක්ව ගරිල්ලා හමුදාවක් පිහිටුවා ගැනීමයි.

නිදහස් සිරියානු හමුදාවට විරුද්ධව සටන් වදින අසාද්ගේ රජයේ හමුදාවලට ඉරානයෙන්, රුසියාවෙන් හා ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානයෙන් යුධ අවි හා උපකාර ලැබෙනවා.



සිරියාව හා ඉරානය

ඉරානය හා සිරියාවේ අසාද් රජය අතර සබඳතා 1980 ගණන් තෙක් ඈතට දිව යනවා. ඊශ්‍රාලයට විරුද්ධව පලස්තීනයේ සටන්වදින හමාස් සංවිධානයට හා ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානයට අවි හා මුදල් පොම්ප කිරීමට ඉරානය, සිරියාව හා ඇති සබන්ණ්දතා භාවිතා කරනවා. එයට හිලව් ලෙස අසාද් රජයට ඉරාන තෙල් සල්ලි හා ඇති තරම් අවි ආයුධ ලබාදීමට ඉරානය කටයුතු කරනවා. මේ අනුව මැදපෙරදිග සිය බලය පතුරුවා ගැනීමට ඉරානය ඉත්තෙක් ලෙස භාවිතා කරන්නේ අසාද්ගේ සිරියාවයි.

මේ අනුව 2011දී අසාද් පාලනයට විරුද්ධව ඇවිලීගිය දරුණු විරෝධතා තමන්ගේ හොඳම හිතවතා වන අසාද්ගේ විනාශයට හේතුවිය හැකි බවට බියවූ ඉරානය සිරියාව ඉල්ලා සිටි සියලුම යුධ ආධාර ලබාදීමට පමණක් නොව ලෙබනනයේ හිස්බුල්ලා ගරිල්ලා සංවිධානයේ පලපුරුදු සටන්කාමීන් දහස්ගණනක්ද සිරියානු හමුදා සහයට පිටත්කොට එවුවා.

ඉරානයද ෂියා මුස්ලිම් ආගමික පාලනයකින් පාලනය වීම හා අසාද්වරුන් ෂියා මුස්ලිම්වරුන් වීමද ඉරානයට, අසාද් පාලනයට සහයවීමට තවත් හේතුවක් වනවා. කෙසේවෙතත් මේ නිසාම සුන්නි බහුතරයක් සිටින, තෙල් සම්පතින් පොහොසත් අරාබි රටවල්, ඉරානයේ බලපෑම නිෂ්ක්‍රිය කිරීමට සිරියානු කැරළිකාර හමුදාවලට මුදලින් හා අවිආයුධ වලින් ආධාර ලබාදෙනවා.

2013 මාර්තුවේදී සුන්නි රටවල් සාමූහිකයක් වන අරාබි ලීගය අසාද් විරෝධී හමුදාවන්ට සහය දිය යුතුයයි යෝජනාවක් සම්මත කරගන්නවා. මේ රටවල් අතර සෞදි අරාබිය හා කටාර් රාජ්‍යය ඉදිරියෙන් සිටිනවා. කටාර් රාජ්‍යය සිරියානු අසාද් විරෝධීන්ට ඩොලර් බිලියන 3ක ආධාර ලබාදී ඇති බවයි පැවැසෙන්නේ.

සිරියාව හා සෝවියට් දේශය / රුසියාව

සිරියාව හා සෝවියට් දේශය / නූතන රුසියාව අතර සබඳතා සීතල යුද්ධ සමය තෙක්ම විහිදෙනවා. 1960 ගණන්වලදී නූතන සිරියානු යුධ හමුදාව සන්නද්ධ කොට පුහුණු කරවන ලද්දේ සෝවියට් දේශය විසිනුයි. 1971දී බලයට පැමිණි අසාද් රජයට මුලසිටම අවම කොන්දේසි යටතේ සහය පලකල සෝවියට් දේශයේ රාජ්‍යතාන්ත්‍රික කටයුතුවලදී මැද පෙරදිග ලඟම හිතවතා බවට සිරියාව පත්වුනේ එලෙසයි.

අදවන විට උපක්‍රමීය වශයෙන් තනිවී සිටින රුසියාවට, නැගෙනහිර යුරෝපයේ රටවල් කිහිපයක් හැරුනුවිට කෙලින්ම සහය දක්වන, මෙන්ම රුසියාවට අරාබිකරයේ ඇති එකම බිහිදොර වන්නේ අසාද්ගේ යුද්ධයෙන් විනාශවූ සිරියාවයි. සිරියාන් මධ්‍යධරණී වෙරළේ පිහිටි ටාර්ටස් වරාය රුසියානුවන්ට උපක්‍රමීය වශයෙන් ඉතාවැදගත් වන අතර මධ්‍යධරණී මුහුදේ සිය බලය ප්‍රක්ෂේපණය කරන්නට රුසියානු යුධ නෞකා මේ වරායේ රඳවා තිබෙනවා.

2011 සිටම කොන්දේසි විරහිතව අසාද් රජය වෙනුවෙන් පෙනී සිටිමින් ඔවුන්ගේ ජනඝාතක යුද්ධය සාධාරණීකරණය කිරීමට මෙන්ම රුසියානු යුධ නෞකා හා යුධ ගුවන්යානා සිරියාවේ මෙහෙයුම් වලට යොදාගැනීමට රුසියාව පෙළඹ සිටින්නේ අරාබිකරයේ සිටින තම එකම හිතවතාගේ රජය කෙසේ හෝ රැකගණිමින් අරාබිකරයේ රුසියානු බලය පවත්වා ගැනීමේ උවමනාවෙන්.

අති නවීම ගුවන් ආරක්ෂණ පද්ධති, Mi-25 හයින්ඩ් වර්ගයේ ප්‍රහරක හෙලිකොප්ටර් ඇතුලු ඩොලර් බිලියනයක පමණ අවි අසාද් රජයට ලබාදීමට 2011 සිට රුසියාව ක්‍රියාකොට තිබෙනවා. එමෙන්ම රුසියානු ස්පෙට්ස්නාස් විශේෂ බළකායේ සෙබලුන් ඇතුලු රුසියානු සෙබළුන් 11,000ක් පමණ අසාද්ගේ හමුදා සමග මෙහෙයුම් වලට සහභාගීවෙමින් සිටිනවා.

ඇමරිකාව, බ්‍රිතාන්‍යය, ප්‍රංශය ඇතුලු බටහිරයන්ට සිරියාව ගැන ඇති රුදාව

මේ කැක්කුමට ඇති ප්‍රධානම හේතුව වන්නේ වෙන කිසිවක් නොව සිරියාව තුල ඉරාන හා රුසියානු බලය තහවුරුවී බටහිරට දැඩිලෙස විරුද්ධ ඉරානය හා රුසියාවට මැදපෙරදිග බලතුලනය තමන්ට වාසි සහගතලෙස සකසාගැනීම කෙසේ හෝ වැලැක්වීමයි. 

මේ සඳහා ඉත්තන් ලෙස අසරණ සිරියානුවන් යොදාගෙන ඇති අතර ලක්ෂ ගණන් සිරියානුවන් මේ බලරගලය හේතුවෙන් මේවන විටත් මියගොස් සිටිනවා. මේ බල අරගලය තුල ලෙයින්, යකඩින් කෙසේ හෝ බලයේ එල්ලී සිටීම අසාද් ඇතුලු සුළුතර භාත් පක්ෂය උත්සහ ගන්නා අතර සිය විරුද්ධවාදීන් විනාශ කිරීම සඳහා ලොවම ප්‍රතික්ෂේප කොට ඇති රසායණික අවි පවා යොදාගැනීමට අසාද්වරුන් කුරිරුවී තිබෙනවා.






__________________________________________________________________________
Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Comments