NORTH KOREA CRISIS : ලිට්ල් රොකට් මෑන්ගේ අලුත්ම රොකට් එක // උතුරු කොරියාවෙන් පැන ආ සෙබළාගේ බඩේ සිටි අඩියක් දිග පණුවා



උතුරු කොරියාව අලුත්ම අන්තර් මහද්වීපික මිසයිලයක් අත්හදා බැලුවේ පසුගිය නොවැම්බර් 28 වැනිදාය. ලෝක බුද්ධි අංශ විසින් Hwasong-15 ලෙස නම් තබා ඇති මෙය බටහිර යුධ විශේෂඥයින් විස්මයට පත්කල බව කිව යුතුය. කිලෝමීටර් 4500 ඉහල අභ්‍යවකාශයට නැගුනු එය කිලෝමීටර් 1000ක දුරක් තිරස් අතට ගමන්කොට ජපන් මුහුදට කඩා වැටුනි. 

මීට පෙර උතුරු කොරියානුවන් සතුව ඇතැයි බටහිර බුද්ධි අංශ අනුමාන නොකල ඉහල රොකට් එන්ජින් තාක්ෂණයක් මේ රොකට්ටුව තුලින් දකින්නට ලැබුණි. එකක් නම් රොකට්ටුවේ ගමන් මග පාලනය කරන අමතර steering veneer thruster රොකට්ටු වෙනුවට උතුරු කොරියානුවන් නිර්මාණයට වඩාත් දුෂ්කර gimbaled main engine තාක්ෂණය සාර්ථකව යොදාගෙන තිබීමයි.. මේ තාක්ෂණයේදී රොකට්ටුවේ ගමන්මග වෙනස් කරමින් ඉලක්කයට ගෙන යන්නේ ප්‍රධාන රොකට් එන්ජිමේ නැසින්නෙන් පිටකර වායුව එල්ලවන දිශාව වෙනස් කිරීමෙනි. අනෙක් කරුණ රොකට්ටුවේ විශාලත්වය, එය නැගුනු උස හා ගමන්කල තිරස් දුරයි.

මෙවැනි රොකට්ටුවකට කුඩා න්‍යෂ්ඨික බෝම්බයක් ඇමරිකානු මහද්වීපයේ ඕනෑම තැනකට මෙන්ම ප්‍රංශය, ජර්මනිය, බ්‍රිතාන්‍යය ආදී රටවලට පහසුවෙන් එල්ලකල හැකිය. විශේෂඥයින් පවසන අන්දමට මෙම උතුරු කොරියන් මිසයිලය ඇමරිකන් ටයිටන් II අන්තර්මහද්වීපික මිසයිලයට සමානකල හැකිය. ඒ අනුව උතුරු කොරියාව අන්තර්මහද්වීපික න්‍යෂ්ඨික මිසයිල සාර්ථකව ගුවන්ගත කල හැකි ඇමරිකාව, රුසියාව, චීනය හා ඉන්දියාව ඇතුලත් යුධ තාක්ෂණ විශිෂ්ඨයින්ගේ සංගමයට ඇතුලත් වී ඇත.

උතුරු කොරියානු අවි සංවර්ධන විශිෂ්ඨත්වයේ මිනිස් පිරිවැය


නොවැම්බර් 13 වැනිදා උතුරු කොරියානු - දකුණු කොරියානු දේශසීමාවේ සේවයකල දේශසීමා රැකවල් හමුදාවේ (border guard) සෙබලෙකු සිය සගයින්ගෙ දරුණු වෙඩි ප්‍රහාර මැද දකුණු කොරියාවට පැණ ආවේය. දකුණු කොරියානු සෙබලුන් ඔහුව ආරක්ෂිත ස්ථානයකට ගෙනයන විටත් ඔහුට වෙඩි පහරවල් 5ක් වැදී තිබුණත් ඒවා මාරාන්තික නොවන නිසා ඔහු කෙමෙන් සුවපත් වෙමින් සිටී.

ඔහුව පරීක්ෂාකල දකුණු කොරියානු වෛද්‍යවරුන් විස්මයට පත්කරමින් ඔහුගේ උදරයේ සිදුකල ස්කෑන් පරීක්ෂාවකදී එහි අඩියක් පමණ දිග පණුවෙකු බඩවැල සපාගෙන සිටිනු දකින්නට ලැබුණි. එමෙන්ම තවත් විවිධ වර්ගයේ පණුවන් ඔහුගේ උදරයේ සිටි අතර ඊට අමතරව ඔහුට හෙපටයිටිස් B හා ක්ෂයරෝගයද ආසාදනය වී තිබුණි. එමෙන්ම ඔහු තරමක මන්දපෝෂණයෙන්ද පෙලෙන බවද සොයා ගන්නා ලදී.

38වැනි අක්ෂාංශ රේඛාව මගින් දෙකට බෙදී තිබෙන උතුරු - දකුණු දේශසීමාවේ ආරක්ෂාව භාරව සිටින උතුරු කොරියානු දේශසීමා රැකවලුන් ඉතාමත් හොඳින් සන්නද්ධ කරන ලද, උතුරු කොරියානු පාලක පක්ෂයට ඉතා හිතවත් පවුල්වලින් තෝරාගන්නා ලද සෙබලුන් වන අතර සාමාන්‍ය සෙබලුන්ට වඩා හොඳින් ආහාරපාන පවා ලැබෙන බවයි උතුරු කොරියානු ආරංචිමාර්ග පවසන්නේ.

වෙඩි වරුසා මැද්දේ දකුණු කොරියාවට පලා ආ 25 හැවිරිදි සෙබලා එවැන්නෙක් වන අතර ඔහුට වැළදී තිබූ රෝග හා ඔහුගේ සෞඛ්‍ය තත්වය අනුව මිලියනයක් පමණ වන සාමාන්‍ය උතුරු කොරියානු සෙබලුන්ගේ තත්වය සිතාගත හැකි බවයි විචාරකයින් පවසන්නේ.

උතුරු කොරියාව අත්හදා බලන සෑම අලුත් රොකට්ටුවක් හා අලුත් පරමාණු බෝම්බයක් සමගම තව තවත් ජාත්‍යන්තර සම්බාධක දැඩිවෙයි. බොහෝ කලක් උතුරු කොරියාවේ සමීප මිතුරෙකු වූ චීනයට පවා උතුරු කොරියාවේ වත්මන් හැසිරීම දරාගත නොහැකිය. චීනයද ඉතා සෙමින්, එහෙත් ස්ථිරසාරවම උතුරු කොරියාවේ ආර්ථික බොටුව මිරිකමින් සිටී. චීනයට ඇති ප්‍රධානම බිය වන්නේ උතුරු කොරියානු පාලනය බිඳවැටී සාගින්නේ පෙලෙන ලක්ෂ ගණන් උතුරු කොරියානුවන් දේශසීමා හරහා චීනයට කඩාවදී යන්නය.

දකුණු කොරියාව දෙස බලා සිටින උතුරු කොරියානු බෝඩර් ගාඩ්ලා


බිඳවැටී ඇති සළාක ක්‍රමය හා උග්‍ර අගහිඟතා

උතුරු කොරියාවේ සෑම පුර්වැසියෙකුටම අත්‍යාවශ්‍ය දෑ ලබාදීමට සකස් කල සළාක ක්‍රමය බිඳවැටුනේ 1990ව දශකයේ අවසානයත් සමගමය. එතැන් පටන් සිය දෛනික අවශ්‍යතා සඳහා හොර කළුකඩවල පිහිට ලබන්නට උතුරු කොරියානුවන්ට සිදුවී ඇත.

උතුරු කොරියානු පාබල හමුදාවල සෙබලුන්ට පවා කර්මාණ්තශාලාවල හා ගොවිපොලවල්වල වැඩ කිරීමෙන් ශ්‍රමය වැයකොට සිය පවුලට කෑම ටික සොයාගැනීමට සිදුවී ඇත. සම්බාධක හා විදෙස් විනිමය හිඟකම නිසා රටතුල උග්‍ර පොහොර හිඟයක් ඇති අතර මේ නිසා සෑම පවුලක්ම ගොවිපොලවලින් ගොම හා වෙනත් සත්ව අපද්‍රව්‍ය මිළදීගෙන ඒවා කොම්පෝස්ට් බවට හරවා රජයට ලබාදිය යුතුයයි අණක් පණවා ඇත. මෙලෙස ගොවිපොල වලින් සත්ව අපද්‍රව්‍ය මිලදීගැනීමට නොහැකි පවුල් අසල්වැසියන්ගේ අසූචි එක් රැස් කොට ඒවා කොම්පෝස්ට් බවට හරවා සිය කෝටාව පුරවා ගනී. මේ මිනිස් අසූචි භාවිතය නිසා දරුණු පණුරෝග වසංගත පැතිරීම වැඩිවී ඇත.

සම්බාධක හා වෙනත් බලපෑම් වලින් ඇතිවී ඇති අර්බුධය කොතරම් බලවත්ද යත් කිම් ජන්ග් අන් පසුගිය මාස දෙකහමාර තුල වැඩි කාළයක් ගතකලේ උතුරු කොරියාව පුරා ඇති කම්හල්, වැඩබිම්, ගොවිපොලවල් නිරීක්ෂණය කරමින් ඒවායේ නිෂ්පාදනය වැඩි කිරීමට හැකි සියලු බලපෑම් කිරීමටයි.

උතුරු කොරියාවේ ආහාර සුරක්ෂිතතාවය ඉතා අවදානම් බව පවසන ජාත්‍යන්තර සහන ආයතන චීනය, උතුරු කොරියාවට සපයන ඉන්ධන මුලුමනින්ම කපා හැරිය හොත් ඉතා ඉක්මණින් උතුරු කොරියාවේ ආර්ථිකය කඩාවැටීමට හැකි බවට අණතුරු අඟවයි.උතුරු කොරියානු අගනුවර වන ප්යොන්ග්යැන්ග් නුවර පවා පෙට්‍රෝල් හා ගෑස් හිඟය කෙමෙන් කෙමෙන් වැඩිවෙමින් පවතින බවයි වාර්තාවන්නේ.






__________________________________________________________________________
Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Comments