අවුරුදු 7ක්ම බ්ලොග් ලිව්වා....නෙළුම් යායට ගියා.......නෙළුම් පිපී ඇති හැටි දුටුවා........




නෙළුම් යාය සම්මාන උලෙලට මා එක්වුනු  මුල්ම අවස්ථාව මෙය වුනා. සම්මානෙකුත් ලැබුණ නිසා සතුටුයි. නොලැබුණත් ඇත්තටම සතුටු වෙන්න පුලුවන් දේවල් ගොඩක් තිබුණා. 

මගේ  බ්ලොග් එකේ පලමුවැනි ලිපියේ දාතම වෙන්නේ 2010 පෙබරවාරි. මේ 2017 මාර්තු. හරියටම අවුරුදු 7ක්ම  ලිපි 700 ගාණක් ලියලා ලියලා ලියලා (නාලක කිව්වා වගේ අතින් කයිට් කරගෙන) යම් අගැයිමක්, පිලිගැනීමක් ලැබුණු එක කොච්චර හොඳද?

ඒ වගේම එහෙම පිලිගැනීමක් දෙන්න ලස්සන උත්සවයක් සංවිධානය කරන්න බොහෝ වෙහෙස මහන්සි වූ සහෘද මිනිස් කැලට මගේ ප්‍රණාමය පුද කරන්න ඕනෑ. 

මේ වගේ වැඩක් කරන එක කොච්චර අමාරුද කියලා දන්නේ මේවගේ වැඩක් කෙසේ වෙතත් අඩුම ගානේ පොඩි උත්සවයක් හරි සංවිධානය කරන්න බර කරට ගත්ත එකෙක් විතරයි. ඒ නිසා කොතරම් විවේචන තිබුනත්, මේ වැඩේ සංවිධානය කරපු, බර ඇදපු, ප්‍රචාරය කරපු, බැණුම් අහපු හැමෝටම ගොඩාක් ස්තූතියි. 

මේ වැඩේට මහන්සිවුනු ඒ බොහොම කෙනෙක් මම නමින් හඳුනාගත්තත්, රූපෙන් හඳුනන්නේ නෑ. 

සුමිත් කළණසිරි වගේම, නෙලුම් යාය ගැන මට පණිවුඩ එවමින් මාව දැනුවත් කල ලක්මාල් කන්දෙවිතාන වගේම නෙලුම් යාය ව්‍යායාමයේ බොහෝ දෙනෙක් මම මේ දැන් වුනත් පාරෙදි දැක්කොත් අඳුනන්නේ නෑ. ඇනෝනිමස් බ්ලොග් අවකාෂයේ සැරිසරන අපි වැඩිදෙනෙක් පාඩුවේ වැඩේ කරගෙන යනවා මිස ජාලගත වෙන්න ආසා නොකරන නිසා වෙන්න ඇති. 

මම නමින් හා රූපෙන් අඳුනන්නේ දෙන්නයි. එක්කෙනෙක් නාළක ගුණවර්ධන. ඒ ඔහු ආනන්දේ අපට වඩා ටිකක් ජේෂ්ඨ ආදිසිසුවෙකු නිසයි. ඇත්තම කියනවානම් විද්‍යා ලිපි ලියන්න ආභාෂය, උනන්දුව මම ලබාගත්තෙ නාළකගෙන්. මට වඩා ජේෂ්ඨ නාළකව වුනත් පෞද්ගලිකව හඳුනන්නේ නැත්තේ අපි ඉස්කෝලෙ 9 පන්තියේ ඉන්නකොට නාළක උසස් පෙල විභාගෙ ලියපු, ශිෂ්‍යනායක ලොකු අයියා කෙනෙකු වීම නිසයි. ඒත් නාළක අයියා ඒකාලේ සයන්ස් ලියන්න කියවන්න ආස අපිවගේ උන්ට වීරයෙක් වුනා. ඉස්කෝලෙ යන කාලෙම දිවයින වගේ පත්තරවලටත්, කල්පනා වගේ සඟරාවලටත් ලිපි ලියපු නාළකව අපි දැක්කේ යෝධයෙක් වගේ. ඒවගේම අපේ තවත් වීරයෙකු වුනු ආතර් සී ක්ලාක් විද්වතාව ඇසුරු කරන්නට, එකට වැඩකරන්නට වාසනාව ලබාගත් නාළක අපිට පෙනුනේ එක්තරා විධියක සුපර්-හීරෝ කෙනෙක් වගේ. 

අනිත් එක්කෙනා අපේ W3 පැරා. එයාව දන්නේ එයාගෙ W3 එක ආසාවෙන් කියවන නිසාත්, ජනවාරි පෙරලියෙන් පස්සේ ඒවගේ නිහඬව යමක් කරපු මිනිස්සුන්ටත් රූපවාහිණී නාළිකාවල දොර ඇරුණු හින්දයි.

නැවතත් මේ හැමෝටම ස්තූතියි කියලා කියන්න ඕනෙ.

මේ ටික ලියපු එකේ, නෙළුම් යාය උළෙලේ ඉදිරි සම්මාන උත්සව වලදී හදාගන්න පුලුවන් පොඩි පොඩු අඩුපාඩු ටිකකුත් දැක්ක නිසා ලියන්නම්. විවේචනයක් නම් නෙමෙයි. ඒවාට ඕනෑ තරම් අය ඉන්නවා. මේ කියන්නේ වැඩේ තව ටිකක් ඉම්පෲව් කරන්න පුලුවන් විධි.

Nominee Registration Desk

නෙළුම් යාය සංවිධායක මචන්ලා මේකනම් හරිම වැදගත්. ඉවෙන්ට් එක පටන් ගන්න ඉස්සෙල්ලා සම්මාන ලාභීන් ඇත්තටම ඇවිල්ලා ඉන්නවද, නැතිනම් නියෝජිතයෙකු හරි එවලද කියලා දැනගන්න මේක වැදගත්. හෝල් එකේ දොර ලඟ මේසයක් තියලා ගැණු ළමයි දෙන්නෙකුට වැඩේ බාර දෙන්න. එතනට අමුත්තන් යොමු කරන්න පිරිමි ළමයෙකුත් ඉස්සරහා තිබ්බානම් හොඳයි.එතකොට ලිස්ට් එකේ ඉන්න අය ආවද නාවද කියලා සළකුණු වෙනවා. එතකොට අවිනිෂ්චිතභාවය අඩුවෙනවා කියලා හිතෙනවා.

ටිකක් දිග වැඩියි වගේ

සම්මාන ගොඩයි. ඒත් පැය 2කින් ඉවර කරන්න බලන්න. ලංකාවෙ අපි හරි බිසී අයනේ. අනිත් එක බස්වල නැගලා ඈත යන්න ඉන්න මිනිස්සුන්ට 6 පහුවුනාම අමාරුයි. මැද්දෙ ඉවෙන්ට්ස් අඩුකරලා, වේගයෙන් සම්මාන දීලා ඉක්මණට ඉවර කරන්න පුලුවන් නම් හොඳයි. අන්තිම හරියේදී බෝරිං ගතිය, මිනිස්සු නැගිටලා යන එක අඩුකරන්න පුලුවන්, ඉවෙන්ට් එක වේගෙන් යනවානම්. 

3pm-5pm තමයි නියම වෙලාව.

පටන් ගන්න කලින් කන්න දෙන්න :)

සාමාන්‍යයෙන් මේවගේ උත්සවවල කන්න දෙන්නේ අන්තිමට. ඒත් එතකොට කෑම ඉතුරු වෙනවා. 

පැය 3ක ඉවෙන්ට් එකක් ඉවරවෙලා කාලා යන්න ඉන්න අය අඩුවෙන්න පුලුවන්. බස්වල දුර යන්න ඕනෑ අය, තනියම යන්න ඕනෑ කාන්තාවෝ, ගෑණු ලමයි වගේම වෙන වෙන වැඩ වලට යන්න ඕනෑ අයත්, බඩගිණි වුනත් නොකා යනවා. මේක මගේ අත්දැකීමක්. ඒ නිසා පටන් ගන්න ඉස්සෙල්ලා කන්න දෙන්න. එහෙම කරහම වාසි මේවයි;

1] 3ට පටන් ගන්න ඉවෙන්ට් එකට 12ටත් කලින් ගෙදරින් පිටත්වෙන, හරියට දවල්ටවත් නොකෑ අයට බඩගින්නේ තවත් පැය 3ක් විතර ඉන්න ඕනෑ නෑ. බඩ පුරවගෙන ඉඳගන්න පුලුවන්

2] කෑම කන අතරේ සම්මානවලට නිර්දේශ වුන අයට රෙජිස්ටර් වෙන්න කියලා නිවේදනය කරන්න පුලුවන්. නිර්දේශිත අඩවි හා බ්ලොග් කරුවන්ගේ ලයිස්තුවකුත් කැම කන හරියේ ප්‍රදර්ශණයට තිබුණානම් වැඩේ තව ලේසි වෙනවා.

3] කන බොන ගමන් බ්ලොග් කාරයෝ එකිනෙකා හඳුනා ගන්නත් පුලුවන් නේද? පරක්කු වුනොත් කාලා දුවනවා, නැතිනම් නොකා දුවනවා.

4] ආරාධිත අමුත්තන් පරක්කු වුනොත් චාටර් නැතුව එයාලා එනකම් වැඩේ පටන්ගන්නේ නැතුව අදින්න පුලුවන්. කකා බිබී ඉන්නකොට පරක්කු වුනත් තරහා වෙන අය අඩුයිනෙ.

විනිසුරුවරු / සංවිධායකවරු ආරම්භයේදීම හඳුන්වා දෙන්න.

මේවගේ වැඩ කරන එක ස්තුතියක් නැති (thankless), බැනුම් අහන වැඩ. එහෙම පරිප්පුකාගෙන වැඩේ ඇදගෙන ගිය මිනිස්සු නිසානෙ නෙළුම් යාය ඉදිරියට යන්නේ. ඉතින් විනිසුරුවරුන් හා සංවිධායකවරුන්, බර කරට අරන් ඇදපු අයව පටන් ගනිද්දිම හඳුන්වලා දෙන්න. සමහර අය කැමති නැතිවෙයි. ඒත් වැඩේට කරගහපු මිනිස්සු කව්ද කියලා හැමෝම ඉන්න අතරේ පෙන්වන එක , හඳුන්වාදෙන එක වඩාත් හොඳයි නේද? නැතිනම් ඒ මිනිස්සුන්ටත් ටිකදවසකින් එපා වෙයිනෙ.

මම දැක්ක අඩුපාඩු / දියුණුකල හැකි කරුණු ඔච්චරයි.

අනෙක් ඒවා ඕනෑම ඉවෙන්ට් එකක අවුල්වෙන/වෙන්න පුලුවන් සාමාන්‍ය දේවල්. ලයිට් යන එක, සමහර වීඩියෝ ක්ලිප් දුවන්නේ නැති එක, සවුන්ඩ් කචල් ඕවා සාමාන්‍ය දේවල් විතරයි.

අවසානයේ නැවතත් මම කියන්න ඕනෑ;

අතින් වියදම් කරගෙන, පෞද්ගලික විවේක කාළය වැයකරගෙන ලෝකෙට යමක් දෙන්න වෑයම් කරන අපි වගේ මිනිස්සුන්ට යම් වටිනාකමක් දෙන්නට මහන්සිගත් නෙළුම් යාය සංවිධායක මඩුල්ලට වගේම අනුග්‍රාහකයින්ටත් බොහෝම ස්තූතියි.













__________________________________________________________________________



Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Comments