ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශණය 2015

2015 ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශණය, පසුගිය 18දා උත්සවශ්‍රීයෙන් විවෘතවුනා. 18දින් උදයවරුවේම ප්‍රදර්ශණය නැරඹීමේ අවස්ථාව මා උදාකරගත්තේ එදා නොසිතූ ලෙසින් නිවාඩුවක් ගැනීමට සිදුවුනු නිසා. උදේ 10වනවිට අවශ්‍ය කාරණය ඉටුවූ බැවින්, ඉතිරිකාලය පොත් ප්‍රදර්ශණය නරඹන්නට යන්නට සිතුනා. 10.30 වනවිටත් උත්සව සභාවේ වැඩකටයුතු අවසන්ව නොතිබූ බැවින්, දිගු පෝලිමක් දක්නට ලැබුනේ, නරඹන්නන් ප්‍රධාන ප්‍රදර්ශණශාලාවට ඇතුලුකරගැනීම ආරම්භකොට නොතිබූ නිසයි. එහෙත් බණ්ඩාරනායක ප්‍රදර්ශණභූමිය පිලිබඳව හොඳ අවබෝධයක් මට තිබූනිසා, ප්‍රධාන පෝලිමට එක් නොවී, ප්‍රධාන සම්මණ්ත්‍රණශාලාවේ පිටුපසින් ප්‍රදර්ශණ භූමියට ඇතුලුවන්නට මට පුලුවන් වුනා. ඒ වනවිටත් ප්‍රධාන ප්‍රදර්ශණශාලාවට නරඹන්නන් ඇතුලත් කරගැනීම ආරම්භ නොවී තිබුණත්, එම භූමියේ ඇති වෙනත් ප්‍රදර්ශණකුටි නරඹන්නන් සඳහා විවෘතව තිබූ බැවින් කාලය කාදැමීමකින් තොරව පොත් ටිකක් බලා ගැනීමේ අවස්ථාව හිමිවුනා.

පසුගිය වසරේ ප්‍රදර්ශණය ඉතාමත් නොසැළකිලිමත් හා අසංවිධානාත්මකව තිබුණත්, මෙවර සංවිධායකයින් එවැනි බොහෝ ගැටලු නිරාකරණය කොට, පොත් ලෝලීන් හට හොඳ අත්දැකීමක් ලබාදීම සඳහා වෙහෙසී තිබුණා. ප්‍රධාන ශාලාවෙන් පිටත පොත් ප්‍රදර්ශණ කුටි අතිවිශාල සංඛ්‍යාවක් තිබූ අතර, දැඩි උශ්ණත්වයට අමතරව වෙන කිවයුතු ගැටලුවක් තිබුණේ නෑ. නරඹන්නන්ගේ අවශ්‍යතා සඳහා ආහාරපාන විකුණන ස්ථාන විශාල ප්‍රමාණයක් තිබූ අතර බණ්ඩාරනායකශාලාවේ සේවකයින්ගේ ආපනශලාවද නවීකරණය කොට නරඹන්නන් සඳහාද විවෘතව තැබීම නිසා ගල්කිස්ස මහ හෝටලයේ ආපනශාලාවේ ආහාර පාණ සඳහ අධික මුදලක් ගෙවීමෙන් වැලකී කුසගින්න/පිපාසාව පියවාගැනීමට බොහෝදෙනෙකුට හැකිවුනා.

පොත් ගැන කියනවානම්, වෙනදාමෙන්ම මෙවරත් දේශීය පොත්ප්‍රකාශකයින්ගේ පොත් රාක්ක පිරී තිබුණේම නවකතාවලින්. රූමත් කාන්තාවකගේ ඡායාරූපයකින් පිටකවරය සැරසූ නවකතා දහස් ගණනක් සෑම පොත් ප්‍රකාශකයෙකුගේම පොත් රාක්ක වසාගෙන සිටියා. මීට අමතරව තවත් විශාල ඉඩ ප්‍රමාණයක, හෝඩියේ සිට උසස්පෙල දක්වා පාසැල් උපකාරක පොත් අරක්ගෙන සිටියා. නවකතා හා උපකාරක ටියුෂන් පොත් අඩුකලවිට, තුන්වැනියට වැඩියෙන්ම තිබුණේ ඉංග්‍රීසි නවකතා, කෙටිකතා හා ළමා ප්‍රබන්ධයි හා ඉංග්‍රීසියෙන් අධ්‍යාපනය ලබන්නන්හට අවශ්‍ය පෙලපොත් වලිනුයි.

පසුගිය 2014 ප්‍රදර්ශණයෙන් ගත්ත පොත
"The Rifle and the Hound in Ceylon - Samuel Baker :
Thisara Prakashakayoe"
ගියවර මා පොත් ප්‍රදර්ශණයෙන් මිළදීගත්තේ එකම එක පොතයි. ඒ තිසර ප්‍රකාශකයින් නැවත මුද්‍රණය කරනලද, සැමුවෙල් බේකර් විසින් 1853දී ලියන ලද "The Rifle and the Hound in Ceylon" නම් දඩයක්කරුවෙකුගේ දිනපොතයි. එම පොත මා ඉතා ආශාවෙන් කියවූවේ එහි ඇති සතුන් මරණ විස්තර නිසා නොව, එකල ලංකාවේ ජනජීවිතය, යටත්විජිත පාලකයින් ලංකාව ගැන සිතූ හැටි, කතාකල හැටි දැනගන්නට ඇති හොඳම මූලාශයක් නිසායි. සැමුවෙල් බේකර් ගැන නොදන්නා අයට දැන්ගන්න කියනවා නම්, ස්කොට්ලන්ත ජාතික සැමුවෙල් බේකර්, සිංහලෙන් මහ එළිය කියලා හඳුන්වන, අද අපි හෝර්ටන් තැන්න කියන අපූර්ව භූමිය දැකගත් පලමු යුරෝපීයයා ලෙස වාර්තාවෙනවා. ඔහු මහ එලිය හෝර්ටන් තැන්න ලෙස නම්කලේ එකල ලක්දිව ආණ්ඩුකාරවරයාවූ රොබර්ට් හෝර්ටන්ට ගෞරවයක් ලෙස කියලා සඳහන් වනවා. ඒවගේම අද අපි නුවර එළිය කියලා හඳුන්වන නගරයේ ආරම්භක පදිංචිකාරයෙක් ලෙස, වැවිලිකරුවෙකුවූ සැමුවෙල් බේකර් ප්‍රසිද්ධයි. හෝර්ටන් තැන්නේ බේකර්ස් ඇල්ල, සැමුවෙල් බේකර් සිහිවෙන්න නම්කරලා තියෙනවා.

මේ වාරේ ගත්ත පොත් දෙක

මෙවරද තිසර ප්‍රකාශකයෝ ප්‍රදර්ශණ කුටියට ගිය මා, තිසර ප්‍රකාශකයෝ සමාගමේ නිර්මාතෲ හා ලංකාවේ සිටි ජේශ්ඨ සිවිල් සේවකයෙකුවූ, 1970 සිට 1975 දක්වා වනජීවී දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ශකධූරය හෙබවූ එස්.ඩී සපරමාදු මහතා විසින්, වනජීවී අධ්‍යක්ශකවරයා ලෙස ගතකල කාලය අලලා රචිත "Sri Lanka a Wildlife Interlude" නම් වෙළුම් දෙකකින් යුතු ග්‍රන්ථයේ පලමු වෙළුම මිළදීගත්තා.

"Sri Lanka, a Wild Life Interlude - Volume One :
S D Saparamadu : Thisara Prakashakayoe"
ඉතා ව්‍යක්ත ලෙසත්, සරල ලෙසත් ලියා තිබෙන මේ පොතෙහි පලමු පරිච්ඡේද දෙකම 18 වැනිදාම කියවා අවසන් කල අතර එම පරිඡ්චේදවල ශ්‍රී ලංකා වනජීවී දෙපාර්ථමේන්තුව, වනසංරක්ශණ දෙපාර්තමේන්තුවේ කොටසක්ව තිබී, එය වෙනම දෙපාර්තමේතුවක් බවට පත්කල කාලයේ එහි තිබූ තත්වය, ලංකාවේ ප්‍රධාන වනෝද්‍යාන දෙක වන යාල හා විල්පත්තුවේ තිබූ තත්වයද පිලිබඳ ඉතා වටිනා මෙන්ම රසවත් තොරතුරු දැගන්නට ලැබුණා. එමෙන්ම එහි විස්තර කොට තිබූ තවත් වැදගත් මෙන්ම වටිනා තොරතුරක් වන්නේ වනජීවී අධ්‍යක්ශකවරයා ලෙස, පොතේ කතෲ එස්.ඩී සපරමාදු මහතා පින්නවල අලි අනාථාගාරය ඇරඹීමට මූලිකව ක්‍රියාකල ආකාරයත් එවක සිරිමා බණ්ඩාරණායක මැතිනියගේ සමගි පෙරමුණු රජයේ (1970-1977) වනසම්පත් හා සංචාරක අමාත්‍යවරයාවූ පී.බී කළුගල්ල අමාත්‍යතුමා ඊට ලබාදුන් නොමද සහයත් පිලිබඳ ඓතිහාසික තොරතුරුයි.

දෙවැනියට මා සිත්ගත් පොත, සූරිය ප්‍රකාශකයින් විසින් පලකරන ලද, දිවයින පුවත්පතේ ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදියෙකුවන "සමන් කළුආරච්චි" විසින් රචිත "කොළඹ පුරාණය" ග්‍රන්ථයයි. නිතැතින්ම විද්‍යාවට අමතරව වනදිවිය, ඡායාරූපකරණය මෙන්ම ඉතිහාසය ගැනද දැඩි උනන්දුවක් දක්වන මට, මෙම පොත ඉතාමත්ම වැදගත් මෙන්ම රසවත් තොරතුරු ලබාදෙන, ඉතා හොඳ ගවේශණාත්මක ග්‍රන්ථයක් ලෙස පෙනෙනුනු බැවින් එයද මිලදීගත්තා.

"කොළඹ පුරාණය - සමන් කළුආරච්චි
 : 
සූරිය ප්‍රකාශකයෝ"
එම පොතෙහිද පලමු පරිච්ඡේද කිහිපය කියවා අවසන්කිරීමට තරම් මේ සතිඅන්තය විවේකීවූ නිසා 2015 පොත් ප්‍රදර්ෂණයෙන් මා තෝරාගත් පොත් දෙකම ඉතා හොඳ, සම්පූර්ණයෙන්ම කියවා අවසන්කල හැකි, මාගේ දැනුම මෙන්ම මාගේ දරුවන්ටද යම් යම් දේ කියාදිය හැකි පොත් දෙකක් බව තහවුරුවුනා. එය මට ඉතාමත් සතුටක්.

කොළඹට එම නම ලැබුණු ආකාරය ගවේෂණය කරමින් ආරම්භවූ කොළඹ පුරාණය පොතෙහි පෘතෘග්‍රීසි, ලන්දේසි හා ඉංග්‍රීසී පාළන සමයන්හි කොළඹ නගරයේ ඉතිහාසයට හා එහි ව්‍යාපතියට වැඩිබරක් දෙනවා. පොතෙහි අටවැනි පරිච්ඡේදය වූ කොළඹ පැරණි පාරවල් හා ප්‍රදේශවලට ඒවායේ නම් ලැබුණු හැටි ඉතාමත්ම රසවත්.

උදාහරණයක් ලෙස සුනිල් එදිරිසිංහ "සෙලෙස්තිනාට, එනතුරු බලා සිටින්න" යැයි අයැදෙන කයිමන් දොරකඩට ඒ නම ලැබුණු හැටි අපූරුයි. මෙම කයිමන් දොරකඩ යනු කොටුව හා පිටකොටුව වෙන්කෙරුනු සාන්ත ජෝන් ඇල (එය ඉංග්‍රීසීන් විසින් ගොඩ කරන ලදී) හරහා දමා තිබූ සල පාලමට (drawbridge) කොටුවෙන් ඇතුලුවන ස්ථානයයි. එම ස්ථානයේ දොරටුව ඇරීම වැසීම දැනුම්දෙන්නටයි, අදටත් පවතින කයිමන් ඝණ්ටාර කුළුණ නිර්මාණය වුනේ. ඉතින් එතනට කයිමන් කියලා නම වැටිලා තියෙන්නේ බේරේ වැවේ ඉන්නා කිඹුල්ලු, සාන්ත ජෝන් ඇළදිගේ ඇවිත් ඒ හරියෙන් ඇලට විසිකරන කුණු කන්නට රැස්වෙන නිසාලු. කයිමන් කියන්නේ ඕලන්ද (ලන්දේසි නැතිනම් Dutch) භාශාවෙන් කිඹුලා කියන එක.

පොත්දෙකම කියවගෙන යන අතරේ වැදගත් කියලා හිතෙනදේවල් තිබුණොත් අලුත් සටහනක් තියන්නම්.....

COMMENTS

පොත් ප්‍රදර්ශනේට වඩා, පොත් දෙක තුනක් උනත් දාල තියෙන විස්තර ටික මසුරං වටිනව. on ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශණය 2015


Comments

  1. පොත් ප්‍රදර්ශනේට වඩා, පොත් දෙක තුනක් උනත් දාල තියෙන විස්තර ටික මසුරං වටිනව.

    ReplyDelete

Post a Comment